විෂය මාලා සහ සමාජානුයෝජනය ...
පහුගිය සතියේ අපි කතා කළා ( මේ ලිපියට පහලින් ඒ කතාවෙ මං සළකුණු ඇති) ඔබට මතක ඇති පන්තිකාමරය තුළදී ගුරවරයාගෙ ප්‍රධාන වගකීමක් තමයි දරුවන්ගේ එකිනෙකට වෙනස් බුද්ධි තල නැත්නම් හැකියා හඳුනා ගනිමින් හුදු දැනුම පමණක් සොයා යන යාන්ත්‍රික ජීවියෙක් නිර්මාණය කරනවා වෙනුවට පරිපුර්ණ මිනිසෙකු කරා දරුවා මෙහෙයවන්න උත්සහ ගත යුතු බව. දරුවාව සමාජයට උචිත අයුරින් කොහොමද සමාජානුයෝජනය කරන්නේ කියන එක.සමාජානුයෝජනය කියන්නේ සමාජයට අනුගත වෙමින් සමාජය තුළ ජීවත් වෙන ආකාරය,ගණුදෙණු කරන ආකාරය ගැන දරුවන්ට හුරු කිරීම.අධ්‍යාපනයේ එක් කාර්යයක් තමයි.මොන තරම් ජගතෙකු වූවත් සමාජය හා ගණුදෙණු කරන්න,අන්තර් පුද්ගල සබඳතා ගොඩ නගා ගන්න දරුවෝ දන්නැත්නම් වැඩක් වෙන්නේ නැහැ.අද මං කතා කරන්නේ කොහොමද මේ අපට තියෙන විෂය මාලා ඔස්සේ දරුවා මේ කාර්ය්යට සහභාගී කරවන්නේ කියන එක.
කලින් අපි හඳුන ගත්ත කාරණාව තමයි පුද්ගලයෙක් තුළ එකිනෙකට වෙනස් බුද්ධි තලයන් කිහිපයක් පැවතිය හැකි බව මෙන්ම දරුවන් මේ හැකියා කාලයත් සමඟ වැඩි දියුණු කර ගන්න ආකාරය විතරක් නෙවෙයි සමහර දරුවන් කුඩා කළ පටන්ම විවිධ දක්ෂතා පෙන්නුම් කරන බව. ඒ කියන්නේ පන්ති කාමරයෙදි අපට හමුවෙන දරුවන්ගේ හැකියා එක හා සමාන වෙන්නේ නෑ.හැකියාවන්ගෙන් පමණක් නොවෙයි එකම නිල ඇඳුම අඳින සමානාත්මතාවය නිරූපණය කරන පාසල තුළ විවිධ කුල වල,සමාජ ශ්‍රේණී වල,විවිධ ආර්ථික මට්ටම් වල දරුවන්ද අපට හමු වෙනවා.මේ සකලවිධ දරුවන්ව කිසිදු වෙනසකින් තොරව භාර ගනිමින් අර කියන පූර්ණත්වය කරා දරුවාව රැගෙන යාම ගුරුවරයගේ වගකීම වෙනවා.පවුලෙන් පස්සෙ දරුවාව සමාජානුයෝජනය කිරීමේ කාර්යය ගුරුවරයාට පැවරෙනවා විතරක් නොවෙයි පවුලෙන් ගිලිහෙන දරුවන් කෙරෙහිද මුලුමනින්ම අවධානය යොමු කරන්න වෙනවා. ඔබට වැටහෙනවා ඇති මේ කියන්නේ අර සුපුරුදු භෞතික සංවර්ධනය නම් නොවන බව. මෙය ඉන් ඔබ්බට ගිය මනෝ විද්‍යාත්මක කාර්යයක් ද වෙනවා.
ලාංකීය අධ්‍යාපන ක්රමයේ යම් අඩුපාඩු සහ දුර්වලතාවයන් පැවතුනද මේ තාක් නිදහස් අධ්‍යාපනයේ ඵල ලබමින් දෙස් විදෙස් දස්කම් දැක් වූ පිරිස සහ වෘත්තීය මෙන්ම ආර්ථික තත්වය අතින් ස්ථාවරත්වයට පත් වූ පිරිස ගත් කළ එය පූර්ණ වශයෙන් ගුණාත්මක භාවයෙන් තොර වූවක් බව නම් කිව නොහැකියි. කෙසේ නමුත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ මෙන්ම නූතන ලෝකයට ගැලපෙන අයුරින් විෂය මාලා ප්‍රතිසංස්කරණ කටයුතුද තව දුරටත් සිදු විය යුතු කාරණාව නම් අවධාරණය කළ යුතු කටයුත්තක් . විශේෂයෙන් පන්තිකාමරය තුළ සිදු කෙරෙන ඉගැනුම් ප්‍රායෝගිකව සමාජය තුළ ක්‍රියාත්මක කළ හැකි වීම සිදු විය යුතු අතරම එතුළින් දරුවා සමාජානුයෝජනයට ලක් කරමින් සමාජයට උචිත පුද්ගලයින් තැනීමටද වග බලා ගත යුතු වෙනවා.
අපි බලමු විෂය මාලාව හරහා මෙන්ම විෂය සමගාමී කටයුතු ,සදාචාර විෂය මාලාව මෙකි සමාජානුයෝජන කාර්ය්ය සඳහා දායක කර ගන්නේ කොහොමද කියන එක. ක්‍රීඩා ,සමිති සමාගම්, සෞන්දර්යාත්මක වැඩ සටහන් ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්, සමාජ ඉතිහාසය,පුරවැසි,ආගම් දර්ශනවාදී ආදි සදාචාර විෂය මාලා විතරක් නෙවෙයි ගණිතය,තර්ක ශාස්ත්‍රය,නීතිය මෙන්ම විද්‍යාව ආදී විෂය මාලා තුළින්ද දරුවන්ට සමාජය හා වඩාත් ධනාත්මකව මෙන්ම සුබවාදීව ගණුදෙණු කරන්න පොළඹවන්න පුලුවන් .
උදාහරණයක් විදිහට පන්ති කාමරය තුළ විද්‍යාව විෂය හදාරන දරුවෙක් කොහොමද විද්‍යාත්මක ක්‍රමයට එදිනෙදා ජීවිතේ මුහුණ පාන්නට වෙන ගැටලුවක් හඳුනා ගන්නේ ,එය විසඳා ගන්නේ කියන එක භාවිතයට ගැනීමට හුරු වන්නේ නම් බොහෝ විට නොයෙක් ගැටලු මඟ හරවා ගන්න වගේම අළාද ගැටලුවට නිවැරදිම පිළිතුර සොයා ගන්නත් පුලුවන් . ඒ වගේම කල්පිත,පරීක්ෂණ ආදී මෙහෙයුම් වලදී සමාජය තුළ මුල් බැස ඇති විවිධ මිත්‍යා මත හා නොගැටී පිරිස් සමඟ ගැටුම් ඇති නොකරගන්නත් තව දුරටත් සිය විචාරශීලී බුද්ධිය,සිත සහ සිරුර භාවිතයට ගනිමින් එතෙක් තමන්ට අවිශය වූ විෂය දැනුම අනාවරණය කර ගනිමින් [එහෙම කියන්නේ විද්‍යාව (Science) යනුත් නිරන්තරයෙන් වෙනස් වන වගේම ලොව සෑම ක්‍රියාවලියක්ම පර්යේෂණයට නතු කර ගනිමින් කරුණු අනාවරණය කර ගත නොහැකි ඉගැන්වීමක් නිසා] තමන්ටත් සමාජ ප්රගමනයටත් දායක වෙන්න පුලුවන් .
විෂය සමගාමි කටයුතු සහ සැගවුණු සදාචාර විෂය මාලා කොහොමද දරුවාව හික්ම වන්නේ මෙන්ම අවිවේකී කාර්යය බහුල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී දරුවාට මානසික සුවදායි තාවයක් ලබා දීම වගේම පුද්ගලයන් අතර මනා අන්තර්ක්‍රියා සම්බන්ධතාවයක්ද ගොඩ නගනවා කියන එක අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
ඒ නිසා මානව ශාස්ත්‍ර,සමාජවිද්‍යා විෂය මාලා වලින් පමණක් නොවෙයි විද්‍යා ,ගණිත, තාක්ෂණ විෂය මාලා තුළින්ද දරුවන්ව සමාජානුයෝජන ක්‍රියාවලියට දායක කර ගත හැකි බව වගේම ආර්ථික වශයෙන් සවිබල ගැන්වෙන ගණිත ,විද්‍යා,වෘත්තීය - තාක්ෂණික දැනුම පමණක් නොවෙයි මානව ශාස්ත්‍ර,සමාජවිද්‍යා විෂය මාලා වලද අවශ්‍යතාවය ( එහෙම කියන්නේ අද බොහෝ දෙනාට අනුව එහෙව් විෂයයන් යනු කමකට නැති ඉගෙනුම්ය. ඒවායින් මුදල් උපයන්න බැරිය; රැකියා නැතිය;එනිසා ඒවා විෂය මාලා වලින් ඉවත් කළ යුතුය. එකී උපාධි ධාරීහූ රටට බරක් ය යැයි කියන කතා නිසා.) සාර්ථක අධ්‍යාපන ක්රමයක අවසානයේ දරුවාව සමාජානුයෝජනය කිරීමේ කාර්යය සඳහා උපකාරී වන බවට විවාදයක් නැහැ.
ඉතින් අධ්‍යාපනයේ තවත් එක් කාර්යයක් වෙන සමාජානුයෝජන ක්‍රියාවලිය පවුලෙන් පස්සෙ දරුවාට ලැබෙන්නේ පාසලෙන් .මේ සංවාදය,පන්තිකාමරය තුළ ගුරුවරයා කොහොමද දරුවන්ව හඳුනා ගනිමින් විෂය මාලා,විෂය සමගාමි මෙන්ම, සැඟවුණු විෂය මාලා තුළින් දරුවන්ව සමාජය හා වඩා ප්‍රගතිශීලීව ගණුදෙණු කරන්න හුරු කරන්නෙ කියන එක ගැන.ඔබේ අදහස් වලටත් ඉඩ..මෙය කියවන එක් අයෙකු හෝ අලුතින් සිතන්නට ,ක්‍රියාත්මක වන්නට යොමුවන්නේ නම් ඒ ඇතිය. .
♥️♥️♥️👍👍
ReplyDelete🖤
Delete